අවුරුදු ගානකට කලින් වෙනත් රටකට ගිය මාමා සිය බූදලය මගේ නමට ලියා මියයාම වැනි දේවල් සාමාන්‍යයෙන් දිනපතා සිදුවන දේවල් නොවේ.
මේ කතාව වෙනුවෙන් මිය ගියේ මගේ මාමාය.
ඒ ගැන ඔහුගේ නීතීන්නයන් විසින් ඊ-මේල් මගින් දැනුන්දීමත් සමගම මගේ නෙත් කෙවිනි දැවිල්ල අල්ලා කන් දෙක තුළින්ම හෝ හඩක් නැගෙන්නට විය. දවස් ගානකට කෑම වෙනුවෙන් පිරියක් ඇති නොවීය. කෑමට අවශය වුවත් ලංකාවේ ආර්තික තත්වය ගැනි හොදින් දන්නා නිසා, පිරියක් නැති වීම එක අතකට හොද බව පසුව කල්පනා විය. මාමා සමග කුඩා කල ගෙවුනු සොදුරු මොහොතවල්, ඒ ආදරය මෙනෙහි කරමින්, හැඩූ කදුලින්, තඩිස්සි වී ඇති මුහුණකින්, ඩිප්‍රෙශන් පිට වැනි වැනී ඉබාගාතේ පාරේ ඇවිදින මා දුටුවිට පාරේ යන අනෙකිත් ලාංකිකයන් කුමක් සිතත්දෝ සොයා බැලීමට වට පිට බැලූ විට, ඒ සිතිවිල්ලෙන්ම වටපිට බලන මා වැනිම තවත් ලාංකිකයන් රැසක් මුලිච්චි විය.
මෙසේ ගතවූ දින කිහිපයකට පසුව හන්දියේ බෝක්කුවක් උඩ ඉදගත් මම ඇත්තටම මේ මිය ගිය මාමා කවුද කියා කල්පනා කිරීමට පටන් ගත්තෙමි. ඊටත් ටිකකට පසු මට “ටෙන්ශන් පජාතසේකර” නමින් මාමෙක් නැති වග මතක් වූ කළ මම ටෙන්ශන් වීමි . නමුත් පජාතසේකර යන වාසගම හරිය.
වියවුලට පත්වූ මම නැවතත් ඊමේල් පණිවිඩය බැලුවෙමි. අසූ ගණන්වල කලබල කාලෙදී, ඉතා කෙට්ටුවට සිටි මාමා රට ගැර ගොස් අරාබිකරයේ රටක කළක් ඉද ඉන්පසු කෙන්යාවට ගොස් කලකින් එහි රත්තරන් පතල්, තේ වතු ඇතුළු ඉතා විශාල ධන්ස්කන්ධයක් මෙන්ම විශාල පංචස්කන්ධයක් හිමිකරගෙන ඇත.
වයසත්හරිනේදකසාදයක්වත්කරගනැද්ද, මොනසැපසම්පත්කාරියතිබ්බත්දරුසුරතලයක්නැතුවජීවත්වෙලාමොකටද කියා අවවාද අනුශාසනා දීමට නෑදෑ රැලක් කෙන්යාවේ නොසිටි හෙයින් මාමා කසාදයක් කරගෙන නැත. එහෙයින් ඔහුගේ අයියාගේ පුතෙක් වන මා උරුම ලැයිස්තුවේ පළමුව සිටින වග අන්තිම කැමැත්තේ දක්වා ඇත.
මෙවර දිනුම් ඇදීමෙන් ඔහුගේ දැවැන්ත ජයමල්ලේ ජයග්‍රාහකයා මා හැර වෙන කිසිවෙක් නොවේ.
“අපිට කොයින්ද බං ඔහොම මාමෙක් හිටියෙ ? “ ඒ මගේ කතාව ඇසූ, කිසිදු වගක් විභාගයත් විචාරයක් නැති ඉරිසියාකාර, මගේ මස්සිනාය.
“ඉන්න ඇති බන්. ඒ කාලෙ පවුල් හෙණ ලොකුයිනෙ. එක්කෙනෙක් දෙන්නෙක් මග ඇරෙන එක සාමාන්‍යයි. “
“ඉතින් බන් උන් කොහොම්ද උබේ ඊ මේල් ඇඩ්ඩස් එක දන්නෙ” මස්සිනාම අසයි.
“උන්ට ඕවා සුළු වැඩ. තාක්ෂනේ එහෙම තමයි දැන්”
“දැන් උඹ මොකක්ද කරන්න යන්නෙ”
“වෙන මොනව කරන්නද මගෙ මාම්ම මා” මගෙ දිව ගොලුවෙන්නට පටන් ගෙන වචන ගැළවෙන්නට විය. “අපිට කොච්චරනම් කියලා ආදරේද ?” මහ පාර මැද නැවතත් හැඩුම් යන්නට ආවේය.
“හරිනෙ” ඒ මස්සිනාය
“ඇයි බොකෝ..ඉහි”
“අන්න බස් හෝල්ට් එකේ හිටපු එකෙක් උබ අඩනවා ෆොටෝ එකක් ගත්ත. ෆේස්බුක් පේජ් කරන එකෙක්ද කොහෙද.දැන් තව ටිකකින් යයි. , පාලකයිනි උඹල හොරා කෑවේ මේ අසරණයන්ගෙ ජීවිතයයි කියලා”
“මට වාවගන්න බෑ. මම දැන්ම රිප්ලයි එකක් දානවා අපි මාමා වෙනුවෙන් මෙහෙ සාංගික දානයක් දෙනවා කියලා”
“ඇත්තට ඩොලර් මිලියන් එකක් කියන්නෙ කොච්චරක් වගෙද බන්?” ඒ මස්සිනාය. මට බූදලයක් තබා මාමා මිය ගොස් නැතැයි කලින් සැක කළ මස්සිනාමය!
ඊට උත්තර නොදුන් මම පෙරකී ඊමේල් එකට පිළිතුරු ලෙස මම ඉතා කණගාටු වෙන වගද, මාමා නැතිව ලැබෙන කිසිම බූදලයකින් මට පලක් නැති වගද හැකිනම් මට මාමාව නැවත ලබා දෙන වගද ලියා යැව්වෙමි. ඊළග ඊමේල් එක යැව්වේ ඩොලර් මිලියනයට රන් කාසි ටිකත් ඇතුලත්ද නැත්ද යන්න හරිහැටි සනාත කර ගැනීම සදහාය.
“උඹට හිතෙන්නෙ නැද්ද ඕක හෙණ බොරුවක් කියලා. ඕවට කියන්නෙ ස්පෑම් කියලා. එකපාරම උඹ ලොතරයියක් දිනුවා කියල දානවා. නැත්නම් මැඩගස්කරේ රජතුමාට ළමයි නෑ ඒ නිසා කලින් කසාදෙ ළමයෙක්ගෙ වද පුංචි අම්මගෙ ගෙවල ළග ඉන්න උඹයි ඊළග රජතුමා වගේ. ඕවා අමූලික බොරු බන්” නැවතත් ඉරිසියාකාර මස්සිනාය.
ඊට පිළිතුරු නොදීමට නොවෙහෙසුනු මගේ කාලය ඊළග ඊමේල් එක ලැබෙන තෙක්ම ගත වුනේ කොළඹ හතේ ගෙවල්, රෝද හතරේ වාහන, කැරට් විසිහතරේ මාල සහ අකුරු තුනේ බිරිදක් සෙවීම සදහාය. මාමාගේ ධනය මාවෙත පවරා දීමේ වැඩ කටයුතු ඉතා වේගයෙන් සිදුවෙන බව ඊළග ඊමේල් එකේ දක්වා තිබුණි. තවදුරටත් එහි ලියා තිබුණේ දේපළවල ඊළග හිමිකරුවා ශ්‍රී ලාංකිකයෙකු වන බැවින් ඒ සදහා අති විශේෂ පියවර කිහිපයක් ගත යුතු බවත් ඒකට වියදම් වෙන බවත් මාමා මැරී ඇති බැවින් ඔහුගෙන් එය ලබා ගැනීම ටිකක් කරදර සහගත බවත් ය. අවසානයේ, එම ගාස්තු මට හිමිවීමට ඇති ධනස්කන්ධයෙන්ද කපා ගත් නොහැකි වගය. මෙසේ මම තවත් ඊමේල් තුන හතරකින් ඇසීමට සූදානමින් උන් ප්‍රශ්න රැලටම ඒ නීතීනයක් කලින්ම උත්තර දී තිබින. ස්මාට් පීපල්ස්!
ගාස්තු මෙච්චරය කියා දක්වා එවා තිබුණු බිලේ එකතුව ලෙස මගේ අවුරුදු හතරක ඕ.ටී සහිත සහ බොසා සමග කිසිදු වලියක් නිසා නොකැපුනු , පඩිය දක්වා ඇත. මාගේ බැංකු ගිණුම පහටම ලොග් වී ශේෂය බැලූ කළ සුළු මුදලක් සොයාගත හැකි විය. සමහර ගිණුම් වල ශේෂයට වඩා, ඒ ගිණුමට දැන් කවූරුන් හෝ ඇතුල් වූ බවට දන්වා එවන එස්.එම්.එස් එක වෙනුවෙන් බැංකුව දරන වියදම වැඩි විය යුතුය. මගේ ඊළග අහියෝගය වූයේ මේ මුදල සොයාගැනීමය. විකිණීමට දේපලක් නැති, දේපළ තිබියදීත් ණයක් දීමට කෙනෙක් නැති මම උවනපුස්තකයේ සදහන් වූ ගෙදර සිටම ආදායම් උපයා ඉක්මනින් කෝටිපතියෙක් විය හැකි මගත් පෙන්වා දෙන බවට සහතික වී තිබෙන පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ගත්තෙමි.
ඔහු පැවසූයේ ඒ සදහා සූම් තාක්ෂණය ඔස්සේ ඔහුගේ වැඩමුළුවකට සම්බන්ද විය හැකි බවය.
මම කෝටියක් හෙවීමට කොපමණ කල් යයිදැයි ඇසුවෙමි.
“හරියට ගේම ගැහුවොත්. මාස ගාණකින් උනත් පුලුවන්. ඔයාට තියෙන්නෙ යාලුවන්ට අපි දෙන බඩු විකුනන්න. හොද ගානක් දාල පටන් ගත්තොත් ඉක්මනට ගේම ගහන්න පුලුවන්”
“මෙහෙමයි අයියේ.. මට මේ වෙලාවෙ කෝටි ගානක් නම් ඕනෙ නැ. මට ඉස්සරහට ලොකු ගානක් එන්න තියෙනවා “
”ආ ඒ කිව්වෙ ? “
අපිට කෝටිපතියෙක් වීමට උගන්නන නිසා ඔහුත් එවැනි කෙනෙක් විය හැකි බව අනුමාන කළ හෙයින් මට මගේ මුළු ජීවිත කතාවම කියා ණයක් ලබාගත හැකි වේයයි මට එකවරම සිතිණි.
“ඔය මොකක් ය කිව්ව? මාමා කෙනෙක් කෙන්යාවෙ ? තමුසෙට පිස්සුද ඔය බොරු වලට අහුවෙන්නෙ “ තමන්ගේ එවුන් පමණක් නොව වෙනත් අයද අන් අයගේ සැපතට ඉරිසියා කරන හැටි!
“මටත් ඔය වගේ මේල් දෙකක් තුනක් එනවා දවසකට. ඕව බොරු. කීයක් හරි කඩා ගන්න බලන්නෙ. ඔය නයිජීරියන්, කාරයො එහෙම තමයි ඔව වැඩිපුරම කරන්නෙ “
“එහෙම බොරු වෙන්නත් බෑනෙ”
“හරි. ඒකෙ තියෙනවද. මාමට දියමන්ති පතල් තියෙනවා. වෙන නෑදෑයො කවුරුත් නෑ. ඒ නිසා දේපල ඔයාටයි යන්නෙ “
“ඔ..ඔව්”
“බොරු ඕයි”
ඉන්න්පසුව රැවටීමේ ආදිනව ගැන විනාඩි දහයක පමණ දේශනාවක් කළ ඔහු, මේ සංසාරය හුදෙක්ම අපෙන් කියක් හෝ කඩා ගැනීමට, මුළා කිරීමට බලා සිටින පුද්ගලයන්ගෙන් පිරී තිබෙන බවත් පැවසුවේය. ධනය රැස් කිරීමට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වගත් ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ වී ඉක්මන්ට කෝටිපතියෙක් විය හැකි බවත් පැවසුවේ මම දුරකතනය විසන්ධි කිරීමට මොහොතකට පෙරය.
මගේ කෝටි පති සිහින ඇස් ඉදිරියේ බොද වී යද්දි මගේ හිතේ විරාජනාම වූයේ මා මේ විපතින් ගලවාගත් ඔහුගේ රුවමය. මම නැවතත් ඔහුට අමතා මින් මා ගළවා ගැනීම පිළිබදව හතර වතාවක් ස්තූති කළෙමි.
ටික දිනකින් කෙන්යා නීතී දන්වා තිබුනේ ඉතා ඉක්මනින් ඔවුන්ගේ ගාස්තු ලබා දී දේපළ නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙසය නැතිනම් ඒ සදහා ඊළගට නම්කර ඇති උරුමක්කාරයා සළකා බලන වගත් ය. ඉන්පසුවද බොහෝ රිමයින්ඩර් ලැබුණු අතර මම එකකට පිළිතුරු ලෙස අපිව තැම්බීමට කෙන්යාවේ ලුණු ගොරකා ප්‍රමාණය මදි බවත් ඊට වඩා පොරවල් අපි දැක ඇති වගත් කියා යැව්වෙමි. ඉන්පසුව ආ ඊමේල් මම කියෙව්වේත් නැත.
හුදෙක් යමක් අපේ ඔඩොක්කුවට අහසින් පාත් වන තෙක් බලා නොහිද, සියළු බාධාවන් මැඩලමින් ජීවිතය ජයගැනිමේ මාවත වෙත පිවිසෙනු පිණිස ව්‍යාපාරික ලොවට අත්පොත් තැබීමට මම අයියා සමග එකතු වීමි. සෙමිනාවට ද සහභාගී විම්. පොලින් මුදලාලිගෙන් ගිනි පොලියට ණයක් ගෙන අයියාගෙන් භාණ්ඩ රැසක් මිළදි ගත්තෙමි. හුදෙක් අනාගතය දෙස ධනාත්මකව බලමින් මම දන්න කියන අයට පමණක් නොව පාරේ හමුවන අයට පවා දැන්නුවේ ගෙදර සරම පිටින් ඉන්නා අතරම ඉන්ටනැසනල් බිස්නස් පාට්නර් කෙනෙක් වීමට මහගු අවස්තාවක් උදා වි ඇති බවය.
මෙය කියවන ඔබෙන්ද මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මගේ ජාත්‍යන්තර ව්‍යාපාර ජාලයේ සාමාජිකයෙක් වී හෙට දින එළිය කරමින් පොලෝතල සිප ගන්නා මද කිපුණු සූර්ය රශ්මි කදම්බයේ හැමිනී ජීවිතය ජය ගන්නා ලෙසය. එසේ කිරීමෙන් මට බොහෝ විට පොලින් මුදලාලිගන් ගත් ණය පියවිය හැකි වනු අතර මෙම ව්‍යාපාරය අති සාර්තක වුවහොත් මට මගේ මස්සිනාටත් වඩා ඉහළින් දියුණු විය හැක.
ඌට කෙන්යාවේ දියමන්ති පතලක් හා රන්කාසි තිබුණද, ජාත්‍යන්තර ව්‍යාපාරයක් නැත!


Leave a Reply